විජයදාස රාජපක්ෂ නම් වු සොදුරු මිනිසා

Blog Mar 12, 2020

ඔහු ඉපදුණේ ද, හැදුණේ වැඩුණේ ද, අධ්‍යාපනය ලැබුවේ ද රුහුණු ගිරුවාපත්තුවේ වලස්මුල්ලේ හොරේවෙලය. ද්විතීයික අධ්‍යාපනයෙන් පසු අගනුවරට ආවේ බැංකුකරුවකු ලෙසිනි. ඒ කොලඹ ලංකා බැංකු මුලාස්ථානයටය. කොළඹ විශ්ව විද්‍යාලයෙන් නීති උපාධිය ලබා ගෙන ශ්‍රී ලංකා නීති විද්‍යාල විභාගය සමත් ව බැංකු ක්ෂේත්‍රයෙන් සමුගත් ඔහු ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතිඥයකු වශයෙන් දිවුරුම් දී නීති වෘත්තියට ඇතුළත් විය. මහේස්ත්‍රාත් අධිකරණයේ පටන් ශ්‍රේෂ්ඨාධිකරණය දක්වා සෑම ක්ෂේත්‍රයක ම අදාළ නඩු කටයුතු වලට පෙනී සිටිමින් නීතිඥ වෘත්තිය දිග්විජය කළ ඔහු 1998 වසරේ දක්ෂතම තරුණ නීතිවේදියාට හිමි සම්මානයෙන් (The Outstanding Young Person –( TOYP) පිදුම් ලැබුවේ ය. 2001 වසරේ දී ජනාධිපති නීතිඥවරයකු ලෙස ඔහු දිවුරුම් දෙන්නේ එම තනතුරින් පිදුම් ලත් ළාබාලතම නීතිඥවරයා ලෙසිනි.

වෘත්තීයවේදීන්ගේ සංගමය (Organization of Professional Association) මගින් වෘත්තිකයකුට එක් වරක් පමණක් පිරිනමනු ලබන The Apex Award සම්මානය ඔහුට පිරිනැමෙන්නේ 2013 වසරේ දී ය. නීතිඥ වෘත්තියේ යෙදෙමින් අර්ධ අධිකරණමය විනිශ්චය සභා සහ රාජ්‍ය ආයතන ගණනාවක වගකීම් ඔහු විසින් හොබවා ඇත (මෙහි අග සඳහන් වේ). කොළඹ නීතිඥ සංගමයේ උප සභාපති තනතුර හෙබවූ ඔහු 2012/13 වසරේ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති වශයෙන් ඡන්දයෙන් තේරී පත්වන ලද්දේ විශාල ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනිමින් වාර්තාවක් පිහිටුවමිනි. ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ ඉතිහාසයේ ප්‍රථම වරට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු සභාපති ලෙස පත් වුවේ ඔහුය.

2004 අප්‍රේල් මහ මැතිවරණයෙන් පසු ගරු චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිතුමිය ඔහුට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් සහ කැබිනට් අමාත්‍ය ධුරයක් පිරිනැමුවත් ඔහු අමාත්‍යධුරය භාර නොගෙන මන්ත්‍රී ධුරය පමණක් බාර ගන්නා ලදී. 2005 වසරේ දී ගරු මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා විසින් රාජ්‍ය බැංකු සංවර්ධන අමාත්‍යවරයා ලෙසින් ඔහු ව පත් කරනු ලැබූ අතර මාස කිහිපයකින් පසු ඉන් ඉවත් වන ලදී. 2006 වසරේ පාර්ලිමේන්තුවේ රාජ්‍ය ව්‍යවසාය කටයුතු පිළිබඳ තේරීම් කාරක සභාවේ (COPE) සභාපති ලෙස තේරීපත් වූ ඔහු 2007 වසරේ වංචා දූෂණ සම්බන්ධ ව ආන්දෝලනාත්මක වාර්තා දෙකක් ඉදිරිපත් කිරීම හේතුවෙන් කුපිත වූ දූෂිත දේශපාලනඥයින්ගෙන් සහ ජාවාරම්කරුවන්ගෙන් එල්ල වූ ජීවිත තර්ජන නොතකා ඔහු ඔහුගේ හෘද සාක්ෂියේ දේශපාලනයේ යෙදුනේ ය.

මහජන සම්පත් මංකොල්ල කෑ දේශපාලනඥයින්, නිලධාරින් පිළිබඳ කරන ලද හෙළිදරව් වූ දූෂණ හේතුවෙන් දේශපාලන තලය දෙදරුම් කෑමට ලක් විය. 2002/03 වසර වල පැවති ආණ්ඩුව කුණු කොල්ලයට විකුණා දැමූ රක්ෂණ සංස්ථාව, ඇපලෝ රෝහල, කොළඹ වරායේ ඉඩම්, පුද්ගලික බැංකු වල කොටස් යනාදිය ශ්‍රේෂ්ඨාධිකරණය මගින් නැවතත් රජයට පවරා දෙන ලද්දේ කෝප් වාර්තාවේ නිර්දේශ පදනම් කරගෙන ය. එමගින් රුපියල් බිලියන 200 (රුපියල් 200,000,000,000)කට වඩා වැඩි වත්කම් ප්‍රමාණයක් රජයට අත්පත් කරදීමේ ගෞරවය ඔහුට හිමි වන්නේය.

LMD මාධ්‍ය ජාලය විසින් “2007 වසරේ විශිෂ්ටතම ශ්‍රී ලාංකිකයා” (Sri Lankan of the Year - 2007) සම්මානය ඔහුට පුද කළේ ය. ඉන්දියාවේ මහත්මා ගාන්ධි පදනම මගින් ඔහුට 2011 දී “ගාන්ධි සාම සම්මානය” (Gandhian Peace Award) පිරිනමන ලදී.

2003 වසරේ එවකට රජය ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය ව්‍යාපාරිකයකුට විකුණා දැමීය. ඔහු විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පවරමින් තර්ක කොට එම ගිවිසුම අවලංගු කර නොගත්තේ නම් දැනට රජය සතු "ලංගම" නමින් වූ බස් ප්‍රවාහන සේවාවක් නොතිබෙන්නට ඉඩ තිබුණු බව සක්සුදක් සේ පැහැදිලි ය.

ඔහු නොයෙක් දෙසින් එල්ල වූ අභියෝග ඉදිරියේ නොසැලෙමින් කටයුතු කරමින් ඔහුට පිරිනැමුණ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය ප්‍රතික්ෂේප කරමින් 2010 වසරේ සහ 2015 වසරේ පාර්ලිමේන්තු මැතිවරණ වල දී කොළඹ දිස්ත්‍රික්කයෙන් තරඟ කොට ජයග්‍රහණය කරන ලදී. 2015 ජනවාරි මස පිහිටුවන ලද ආණ්ඩුවේ අධිකරණ, බන්ධනාගාර සහ කම්කරු ඇමතිවරයා ලෙසත්, පසුව බුද්ධශාසන, උසස් අධ්‍යාපන, සංස්කෘතික සහ අධ්‍යාපන අමාත්‍යවරයා ලෙසත් කටයුතු කළේ ය. අධිකරණ ක්ෂේත්‍රයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීමේ වගකීම ඉටු කරමින් නීතිපති දෙපාර්තමේන්තුවට ස්වාධීන ව කටයුතු කිරීමට සුදුසු වාතාවරණයක් නිර්මාණය කළේ ය. රට පුරා අධිකරණ ගොඩනැගිලි විශාල සංඛ්‍යාවක් ඉදි කරවමින් යටිතල පහසුකම් ලබා දීමට ද කටයුතු කළේ ය.

මෑත ඉතිහාසයේ එදා-මෙදා තුර පවත්වන්නට යෙදුණ සාර්ථක ම බොදු සමුළුව ලෙස 2017 එක්සත් ජාතීන්ගේ වෙසක් දින සැමරුම හා සම්මන්ත්‍රණය ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට ඉතා සාර්ථක ව පවත්වන්නට යෙදුණේ ඔහුගේ නායකත්වය යටතේ ය. රාජ්‍ය නායකයින් ඇතුළු රටවල් 74 ක නියෝජිතයන් ඊට සහභාගී විය. එමෙන් ම රට පුරා පැවති වටිනා පුරාවිද්‍යාත්මක ස්ථාන වලට ඔහු පෞද්ගලික ව ගොස් ඒවා ආරක්ෂා කිරීමේ වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කළේ ය. යුනෙස්කෝ සංවිධානය විසින් ලෝක උරුම ලැයිස්තු වලින් ඉවත් කිරීමේ අවදානමට ලක් වී තිබූ දඹුලු රජමහා විහාරය, ගාලු කොටුව සහ සිංහරාජය එම අනතුරෙන් වළක්වා ගනු ලැබුවේ ය.

2018 මැයි මස ජනාධිපති සහ අගමැති මා හට නැවතත් අමාත්‍ය ධුරයක් භාර ගන්නා ලෙසට ආරාධනා කරන ලද්දේ උසස් අධ්‍යාපන සහ සංස්කෘතික අමාත්‍යංශ වල හට ගෙන තිබූ දැඩි අර්බුදකාරී තත්ත්ව සමනය කර දෙන ලෙස ඉල්ලමිනි. සයිටම් (SAITM) විශ්ව විද්‍යාල වෛද්‍ය උපාධි ප්‍රශ්නය මුල් කර ගෙන රට පුරා විශ්ව විද්‍යාල පද්ධතිය ම වසර 3ක කාලයක්  අකර්මණ්‍ය ව තිබූ අතර පෙළපාලි සහ උද්ඝෝෂණ 410 ක් පැවතිනි. අමාත්‍යධුරය භාර ගෙන සතියක් ඇතුළත සයිටම් සිසුන් ද ආරක්ෂා කර ගෙන නව පනතක් පාර්ලිමේන්තුවේ සම්මත කර ගනිමින් විශ්ව විද්‍යාල පද්ධතිය ම යථා තත්ත්වයට පත් කර දෙන ලද්දේ ඔහු විසිනි.
කුමන රටක වුව ද කුමන තරාතිරමක වුව ද දේශපාලනඥයින් පටු දේශපාලනික හැඟීම් වලට වහල් නොවී රාජ්‍ය ආරක්ෂාව සහ ජන ජීවිත ආරක්ෂා කර ගැනීම මුඛ්‍ය වගකීම ලෙස ප්‍රමුඛතාව ලබා දෙමින් කටයුතු කළ යුතු ය. රට ජාතිය මෙන් ම රටේ සම්පත් පිටස්තරයන්ට පවරා දීම පරගැති චින්තනයේ වහලුන් විසින් කළ හැකි කාර්යයක් පමණි.

රටේ අනාගත සෞභාග්‍ය සඳහා ආචාර්ය උපාධි තුනක් සහිතව ඔහුට අවශ්‍ය අධ්‍යාපනික දැනුම, නීති වෘත්තිකයකුගේ පරිනතභාවය, ග්‍රන්ථ 32 ක් රචනා කළ වියතෙකුගේ අත්දැකීම්, ගීත රචකයකු ලෙස සෞන්දර්යාත්මක මඟ පෙන්වීම, ව්‍යවස්ථාදායකයකු ලෙස පාර්ලිමේන්තුවේ 16 වසරක පළපුරුදු කම් පෙරදැරි කර ගෙන මෙවර කොළඹ දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් වන්නේ කිසිදු පෞද්ගලික ලාභ ප්‍රයෝජනයක් ලබනු පිණිස නොවේ. වසර 16 ක් තුළ ලත් මන්ත්‍රී, ඇමති වැටුප් සියල්ල වැය කරන ලද්දේ සමාජයේ උන්නතිය වෙනුවෙනි. මහරගම පිළිකා රෝහලට ශල්‍යාගාර උපකරණ පද්ධතියක් සහ ඖෂධ වර්ග පරිත්‍යාග කිරීම, දළදා මාලිගාවට නව රන්සිවි ගෙයක් පූජා කිරීමට දායක වීම යනාදි බොහෝ සුවහසක් සත්කාර ඔහු විසින් නිහඬ ව කරන ලද පුණ්‍ය කර්ම වේ.

ඔහු විසින් සිදු කරන ලද ආගමික හා ශාසන සේවාවන් අගය කරමින් ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි පාර්ශ්වය විසින් ඔහුට “ධර්ම නීති විශාරද ශාසන විභූෂණ” නාමධාරී සම්මානය පුදන ලදී.