විඩාබර රාජකාරී දිවිපෙවෙතින් ඈත්වී පැළ සිටුවා මිරිස්, එළවළු වගා කර ඇති ගොවිබිමේ තොරතුරු....

Blog Apr 12, 2020

අහසින් වැටෙන එක දිය බිඳුවක්ද ප්‍රයෝජනයක් නොගෙන මහ මුහුදට ගලා යෑමට ඉඩ නොදෙනුය යන තේමාව යටතේ හැම බිම් අඟලම ප්‍රයෝජනයට ගත් අපේ මුතුන් මිත්තෝ මේ පුංචි හෙළදිව පෙරදිග ධාන්‍යාගාරය බවට පත් කළේය.

සරුසාර කෙත් වතු සහ බත බුලතින් පිරි ස්වයංපෝෂිත දේශයක්ව තිබූ අපේ රට මේ වන  විට පිටරටකින් නැවක් එනතෙක් කට ඇරගෙන බලා සිටින ජනතාවක් ජීවත් වන රටක් බවට  පත් ව ඇත. සිරිමාවෝ බණ්ඩාරනායක අග්‍රාමාත්‍යතුමිය 70 දශකයේ වගා සංග්‍රාමය ආරම්භ කොට ආහාරවලින් ස්වයංපෝෂිත රටක් නිර්මාණය කළේය. අතරමගදි එය කඩාකප්පල් නොවුණා නම් මේ වනවිට අප රට ස්වයංපෝෂිත ය.

අප රට කෘෂිකාර්මික රටකි. අපට ඇති කුඩා බිම් කොටස වුවද නිකරුණේ නාස්ති නොකර වගා කටයුතු කිරීම මොනතරම් ආදර්ශමත් ක්‍රියාවක්ද... කොතරම් අවිවේකී වුවද ඉඩ ලද සෑම මොහොතකම මා වගා කටයුතු කරන්නේ හද පිරි සතුටිනි.

පෙර රජ දවස මෙන් මුළු රටම වගාබිමක් වූ බවට පත් කළ අයුරින් බත බුලතින් අප  පවුල් ඒකකය ස්වයං පෝෂිත කරවීමේ හුරුව මාගේ දෙමව්පියන්ගෙන් මා හට ලැබුණු  තුටු පඬුරකි. එම නිසා කුඩා කල පටන් අප ලද ගොවිතැන් කටයුතුවල හුරුව අත්  නොහැරිය යුතුය.

Covid-19 (කොරෝනා) වෛරස තත්වය අප රටත්, ජන සමාජයත්  වෙලාගන්නටත් පෙර මා විඩාබර රාජකාරී දිවිපෙවෙතින් ඈත් වූ සෑම අවස්ථාවකදීම  නිට්ටඹුව ප්‍රදේශයේ මා විසින් පවත්වාගෙන  යනු ලබන ගොවිබිමේ පැළ සිටුවා මිරිස්, එළවළු වගා කිරීමට පටන් ගත්තේ මීට බොහෝ  කලකට පෙරදී බව මෙහිදී ඔබට සිහිපත් කළ යුතුය.

මා විසින් ‍කලකට ඉහතදී ආරම්භ කරන ලද ගොවි බිමේ ඡායාරූප කිසි ලෙසකින් සමාජ මාධ්‍ය  තුළ පලකිරීමට මා බලාපොරොත්තු නොවූ නමුදු මා සමඟ මේ මෙහෙවර වෙනුවෙන් කැපවන  සියලු දෙනාට ස්තූතිය පළ කිරීමටත් අනාගත මතු පරපුරට මේ තුලින් ආදර්ශයක් ලබා  දීමේ අරමුණින් මෙම ඡායාරූප මාගේ ෆේස්බුක් පිටුවෙහි පලකරනු ලබන බව මෙහිලා  සඳහන් කරනු කැමැත්තෙමි.

ඔබ මේ දකින්නේ මා දිගින් දිගටම වගා කටයුතු සිදු කරන මාගේ නිට්ටඹුවේ පිහිටි ගොවි බිමයි....

අචාර්ය විජයදාස රාජපක්ෂ ✍