2015න් පසුව රජය සමග මම තනිවම කල සටන

History Mar 15, 2020

එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුව පිහිට වූ මුල් දින කිහිපයේ සිට ම එම ආණ්ඩුව අනුගමනය කළ දේශද්‍රෝහී අදූරදර්ශී දූෂිත ක්‍රියාමාර්ගයන්ට ඔහු එරෙහි වීම නිසා එම නායකයන් ඔහුට සතුරෙකු සේ සලකා කටයුතු කිරීම ඉදිරියේ ඔහුගේ හෘද සාක්ෂියට හැර කිසිදු බලවේගයකට හෝ බලපෑමකට යටත් නොවීම නිසා 2017 අගෝස්තු මස අමාත්‍යධුරයෙන් ඉවත් කරන ලදී. ඊට හේතු වූ කරුණු අතර පහත සඳහන් කාරණා මූලික විය.

  1. ශ්‍රී ලංකා මහ බැංකුව මුදල් අමාත්‍යංශයෙන් ඉවත් කර අග්‍රාමාත්‍යවරයාගේ විෂයයක් ලෙස ගැසට් කර ගැනීම සහ අර්ජුන් මහේන්ද්‍රන් නමැති දූෂිත වංචනිකයා මහ බැංකුවේ අධිපති තනතුරට පත් කිරීමට එරෙහි වීම.
  2. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විෂය අධිකරණ අමාත්‍යංශයෙන් ඉවත් කර අගමැතිගේ විෂයයක් ලෙස ගැසට් කර ගනිමින් ද්‍රවිඩ ඩයස්පෝරාව සහ ඊට සහාය දෙන රාජ්‍යයන් වල න්‍යාය පත්‍රයට අනුව ව්‍යවස්ථාදායක මණ්ඩලයක් පත් කර ගෙන රට දෙකඩ කරවන ලෙස නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කිරීමට දරන ලද ප්‍රයත්නයට එරෙහි වීම.
  3. 2015 වසරේ ඇමෙරිකා එක්සත් ජනපදය විසින් ශ්‍රී ලංකාවට එරෙහි ව ජිනිවා මානව හිමිකම් කොමිසමට ගෙන ආ යෝජනාවලියට සම අනුග්‍රාහකත්වය දැක්වීමට ගත් තීරණයට එරෙහි වීම. එය ජනාධිපතිගේ ද දැනීමකින් තොර ව අමාත්‍ය මණ්ඩලයට ද නොදන්වා රනිල් වික්‍රමසිංහ මහතා සහ මංගල සමරවීර මහතා රණවිරුවන් පාවා දීමට ගත් නින්දිත ක්‍රියාමාර්ගයක් බව ඔහු විසින් පෙන්වා දීම.
  4. ආණ්ඩුව තුළ සිටි අන්තවාදීන් වහාබ්වාදී ත්‍රස්තවාදය පෝෂණය කරන ආකාරය දකිමින් ම ත්‍රස්තවාදය වැළැක්වීමට කටයුතු නොකර ත්‍රස්තවාදීන්ට රැකවරණය දීමට එරෙහි ව කථා කිරීම. 2016 නොවැම්බර් 18 වන දින ISIS ත්‍රස්තවාදීන්ගේ අනුග්‍රාහකත්වය මත රට තුළ බෝම්බ පුපුරවා රට ලේ විලක් කිරීමට සැලසුම් කරගත් ත්‍රස්තයින් 32 දෙනෙකු සහ වහාබ්වාදය දේශනා කිරීම, සංචාරක වීසා මත පැමිණී දේශකයින් 500 ක් රට තුළ සිටින බව පාර්ලිමේන්තුවේ දී කළ ප්‍රකාශයට ආණ්ඩුවේ බලවතුන් උරණ වීම. එම හෙළිදරව්ව කරන ලද්දේ 2019 අප්‍රේල් 21 පාස්කු ප්‍රහාරයට මාස 30 කට පෙර ය.
  5. රටේත් ජනතාවගේත් ආරක්ෂාව පිළිබඳ වගකීම දැරීමට හැකියාවක් නැති පොලිස් නිලධාරියකු පොලිස්පති ලෙස පත් කිරීමට එරෙහි ව ව්‍යවස්ථාදායක සභාවේ දී කථා කිරීම සහ විරෝධය පෑම.
  6. රටත් ජනතාවත් අනතුරට ලක් කරමින් පත් කරන ලද පොලිස්පති සහ ආරක්ෂක ලේකම් ඉවත් කරන ලෙසට හඬ නැගීම.
  7. රටේ වටිනා ම ආර්ථික සහ ආරක්ෂක මර්මස්ථානයක් වන හම්බන්තොට වරාය කුණු කොල්ලයට විකුණා දැමීමට එරෙහි වීම. එමගින් ඉන්දියානු කලාපයේ ම ආරක්ෂාවට තර්ජනයක් ඇති වීම සහ ඉන්දියාව, ඇමරිකාව, යුරෝපා සංගමයේ රටවල සහ ජපානය වැනි රටවල් සමඟ පැවති මිත්‍රත්වය දරුණු ලෙස පළුදු වූ අතර පාස්කු ප්‍රහාරයට ද එය බලපා ඇතයි යන සැකය පහළ වී ඇත.
  8. රජයේ ඉඩම් (සංශෝධන) පනත ගෙන ඒමට එරෙහි වීම. 2003 වසරේ ද එ.ජා.ප. ආණ්ඩුව මෙම පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර ඔහු විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පවරා එය වළක්වා ගන්නා ලදී. මෙවර ද ඒ ආකාරයෙන් ම ඔහු විසින් නඩු පවරා එය සම්මත කිරීම වළක්වා ගන්නා ලදී. මෙම පනත සම්මත වුවහොත් රජයේ ඉඩම් ප්‍රදානයන් ලබා ගොවි ජනපද වල ජීවත් වන අසරණ ගොවි පවුල් 40,000 කට වැඩි පිරිසකට ජීවත් වීමට ඉඩම් කැබැල්ලක් නැති වීමේ අවදානමට ලක් වේ. ආණ්ඩුව එය ගෙන ආවේ ඇමෙරිකාවේ මිලේනියම් චැලේන්ජ් (MMC) හා ආරක්ෂක තත්ත්වයන් පිළිබඳ ගිවිසුම (Status of Forces Agreement - SOFA) යන ගිවිසුම් වලට යටිතල පහසුකම් ලබා දෙමින් ගොවියන්ගේ ඉඩම් හිමිකම අහිමි කිරීමට සහ ත්‍රිකුණාමල වරාය ඇමරිකාවට පවරා දීමේ ක්‍රියාවලියේ කොටසක් ලෙස ය.
  9. දේශපාලන විරුද්ධවාදීන්ගෙන් සහ රණවිරුවන්ගෙන් පළි ගැනීම පිණිස ව්‍යාජ නඩු පැවරීමට සහ අත්අඩංගුවට ගැනීමට එරෙහි වීම.
  10. ජිනිවා මානව හිමිකම් කොමිසමට ගෙන ආ යෝජනාවට සම අනුග්‍රාහකත්වය දැක්වීම මගින් එකඟ වී තිබූ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීම සඳහා වූ නීති, රණවිරුවන්ට එරෙහි ව දෙමුහුන් යුද අපරාධ අධිකරණයක් පිහිටුවීම පිණිස පනවන්නට සූදානම් වූ නීති යනාදිය පැනවීම වැළැක්වීම.
  11. ව්‍යවස්ථාදායක සභාව විසින් බොහෝ අධිකරණ නිලධාරීන්ගෙන් සහ උසස් රාජ්‍ය නිලධාරීන්ගෙන් පළි ගනිමින් ඔවුන්ගේ උසස් වීම් සහ පත් කිරීම් වළකා ලීම සහ එම සභාව මුළුමනින් ම දේශපාලනීකරණය කිරීමට එරෙහි වීම.
  12. එක්සත් ජාතීන්ගේ හා යුරෝපා සංගමයේ නිලධාරීන් විසින් රටේ අභ්‍යන්තර පාලන කටයුතු වලට අයුතු ලෙස මැදිහත් වීමට ගත් උත්සාහයන් වළක්වා ලීම.
  13. ආණ්ඩුවේ මැති ඇමතිවරුන් බුද්ධ ශාසනයට, මහා සංඝරත්නයට, අනෙකුත් ආගම් වලට සහ ඒවායේ නායකයන්ට අපහාස හා පරිභව කිරීමට එරෙහි ව නැගී සිටීම.